ළමා අපචාර,ළමා අපයෝජන,ලිංගික අතවර සහ ස්ත්‍රිදූෂණ



          ඉහත මාතෘකාවෙහි දැක්වෙන අපචාර,අපයෝජන යන වචන අපට නිරන්තරයෙන්ම අසා හුරුපුරුදුය.මෙම වචන දෙක සමාන අදහසක් ප්‍රකාශ කිරීම සඳහා යොදාගනු ලැබුවද සැබැවින්ම මෙම වචන දෙකේ අර්ථ එකිනෙකට වෙනස්ය.එනම් අපචාර යන්නෙන් අපගාමි චර්යාවන් නැතහොත් ලමුන් වැරදි චර්යාවකට යොමු කිරීම අදහස් කෙරේ.අපයෝජන යන්නෙන් අදහස් කෙරෙනුයේ ලමුන් වැරදි ක්‍රියාවන් සඳහා යොදා ගැනීමය,වැරදි ක්‍රියාවක් යෝජනා කිරීම,ළමයකුට වැරදි ක්‍රියාවක් කිරීම යනාදියයි.Henri Kempe නම් සමාජ විද්‍යාඥයා ළමා අපයෝජන අර්ථ දක්වන්නේ එය ළමයකුගේ ශාරීරික මානසික වර්ධනය බිඳ වැටෙන ක්‍රියාවක් ලෙසින්ය.

ළමා අපයෝජන ප්‍රධාන වශයෙන් කොටස් හතරකට අනුව විග්‍රහ කෙරේ.ඒ මෙසේය

  •     නොසලකා හැරීම.
  •     කායික අපයෝජනය.
  •     මානසික / චිත්ත වේගාත්මක අපයෝජනය.
  •     ලිංගික අපයෝජනය.



      මෙහිදි ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.ළමා අපයෝජනයක් පවුල තුල මෙන්ම පවුලෙන් පිටතදි වුවද සිදුවිය හැක.අපයෝජනයක ස්වභාවය මෙසේ පෙන්වා දිය හැක.


පවුල තුල සිදුවිය හැකි අපයෝජන.

  • දරුවාට පහරදෙමින් වදහිංසා සිදුකිරීම
  • දරුවා නොසලකා හැරීම,දෙමාපිය ආදරය සෙනෙහස ලබා නොදීම.
  • පවුලේ අයකු විසින් ලිංගික අපයෝජනයක් සිදුකිරීම.එය සියා,පියා,සහෝදරයා හෝ වෙනත් ඥාතියෙකුගෙන් සිදුවිය හැක.
  • පාසල් නොයවා මෙහෙකාර සේවය සඳහා යොමුකිරීම.
  • තම දරුවා සිඟමනේ යෙදවීම 
  • හැකියාව තිබියදීත් පෝෂණය ආරක්ෂාව ලබා නොදීම.
  • තම දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම
  • දරුවන් අතහැරදා යාම
  • මත්ද්‍රව්‍ය සඳහා යොමුකිරීම
 
       මෙලෙස අපයෝජනයනට ගොදුරු වන ළමුන් පසුකාලීනව සමාජ විරෝධික්‍රියාවන්හි නිරතවන බව දක්නට ලැබේ.පසුගිය දිනවල මෙරට ආන්දෝලනාත්මක පුවත් මවන්නකු වූ වෙලේසුදා වැන්නවුන් කුඩා කලසිටම විවිධාකාරයේ අපයෝජනයනට ගොදුරුවී ඇති බව පැහැදිලිය.ඉහත දක්වා ඇති ආකාරයෙන් පවුලතුල මෙන්ම පවුලෙන් පිටතදීද ළමුන් අපයෝජනයකට ලක් විය හැක.එනම්

  • ඥාති නිවසකදි
  • මිතුරකුගේ නිවසකදි
  • පාසලේදි
  • පාසල් වැන් රථයේදි
  • පොදු ප්‍රවාහන සේවයකදි
  • නේවාසිකාගාරයේදි
  • නිවසින් පිටත වෙනත් ඕනම  ස්ථානයකදි
  
එවැනි ස්ථානයකදි සිදුවිය හැකි අපයෝජන මොනවාද ?
 
  • පහරදෙමින් වදහිංසා සිදුකිරීම.
  • තර්ජනය කිරීම,බිය ගන්වා අයුතු ක්‍රියාවන් සදහා යොදවා ගැනීම.
  • ළමුන් සිඟමනේ යෙදවීම.
  • මෙහෙකාර සේවයේ යෙදවීම.
  • යුධ කටයුතු වල යෙදවීම.
  • ගණිකා වෘත්තියේ යෙදවීම
  • ළමුන් විකිනීම
  • ළමුන් සමග ලිංගිකව එක්වීම
  • මත්පැන්,මත්ද්‍රව්‍ය ලබාදීම
  • අසභ්‍ය දෑ පෙන්වීම,අසභ්‍ය දෑ ප්‍රකාශ කරමින් ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමට උත්සහ දැරීම යනාදිය
  • ළමුන්ගේ ලිංගේන්ද්‍රිය ස්පර්ශ කිරීම හෝ තම ලිංගේන්ද්‍රිය ළමුනට ප්‍රදර්ශනය කිරීම.




ලිංගික අපයෝජනයක් යනු කුමක්ද ?


       ළමුන් කුමන ආකාරයකින් හෝ ලිංගික ක්‍රියාවක් සඳහා යොදවාගැනීම ලිංගික අපයෝජනයකි.ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1995 අංක 222 දරණ සංශෝධන පනතේ 286 (අ) I වගන්තියට අනුව ළමුන්ට අසභ්‍ය දේ පෙන්වීම  අසභ්‍ය දෑ ප්‍රකාශ කරමින් ලිංගික ක්‍රියාවන් සඳහා පොලඹවා ගැනීමට උත්සහ දැරීම නීතියෙන් වරදක් වන අතර ඒ සඳහා වසර දෙකකට නොඅඩු වසර දහය නොයික්මවූ සිරදඬුවමක් නියම කල හැක.එමෙන්ම වයස අවුරුදු 18 අඩු දරුවකු අසභ්‍ය දර්ශනයකට චිත්‍රපටයකට යොදවා ගැනීම හෝ එවන් දර්ශන ඇතුලත් චිත්‍රපට,සඟරා ලඟ තබා ගැනීම,විකිණිම,ප්‍රකාශයට පත්කිරීම,යනාදියද ඉහත වරදටම අයත් වේ.



ළමා අපයෝජනය හා ශ‍‍්‍රි ලංකාවේ තත්ත්වය



     ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් 1/3 ආසන්නව දස ලක්‍ෂ 6.2ක් දුප්පත්කමින් පෙළෙති. මෙය ළමුන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට හා යහ පැවැත්මට බලපායි. ඇතැම්විට දරුවන් ප‍්‍රචණ්ඩත්වයට අපයෝජනයට හෝ ළමා සූරාකෑම් වලට ගොදුරු වෙති. දැඩි දුප්පත්කම ඇති තැන්හි මන්දපෝෂණයට ගොදුරු වන අතර ජීවිතයද අනතුරට පාත‍්‍රවෙයි. ඇස්තමේන්තු අනුව ශ‍්‍රී ලංකාවේ වයස අවු: 5ට අඩු ළමයින්ගෙන් 38%ක් තම පළමු උපන්දිනයට පෙර මිය යති. ද්විතියික පාසල් වශයෙන් සිටින ළමුන්ගෙන් 15%ක් පාසල් නොයති. යුද්ධය ළමුන්ට උන්හිටිතැන් අහිමි කරන අතරම සෞඛ්‍ය පහසුකම් ද අහිමි කර තිබේ. සමහර ළමයින් සංවර්ධනය සඳහා වන නිසි සැළකිල්ල හෝ අවස්ථාව නොමැතිව ආයතනය තුළ ද, වාසයට නොසුදුසු වීදිවල හා මුඩුක්කු වල ද, දිවි ගෙවති

         1970න් පසු දේශපාලන වෙනස්වීම් 1997 විවෘත ආර්ථික රටාව තුළට විවෘත වීම සමඟ සංචාරක ව්‍යාපාරය හා තරඟකාරී සමාජ රටාවට යොමුවීම තුළින් ළමා අපයෝජනයන් වර්ධනය වූ බවත් මෙයට දුප්පත්කම, යුද්ධය, ගෝලීය ආර්ථික රටාවද බලපෑ බව පෙනී යයි. මේ තුළ ළමා ලිංගික අපයෝජනය, ගණිකා සේවය, මෙහෙකාර සේවය, විදේශිකයන්ට ළමයින් විකිණීම, මහමග දරුවන් හැරදා යාම, දැරියන් දුෂණය කර මරා දැමීම, මත් ද්‍රව්‍ය ළමයින් අතර බෙදා හැරීම වර්ධනය වී ඇත.යුද්ධය ලෝකයේ ව්‍යාප්තව පවතින අතර මේ තුළ ළමයින්ට සිදුවී ඇති අපයෝජනයන් වර්ධනය වී ඇත. මෙහිදී විවිධ ත‍්‍රස්තවාදී, දේශපාලන ගැටුම් නිසාවෙන් දිනෙන් දින අවතැන්වෙමින්, මවුපියන් අහිමිවීම, රැකවරණය අහිමිවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය අහිමිවීම, පෝෂණය නොමැතිව විවිධ අනාථ කඳවුරු, ළමා ගම්මාන හා ළමා නිවාස වල කොටුවන ළමුන් ප‍්‍රමාණය අතිවිශාලය  ( උපුටා ගැනීම - දිවයින පුවත්පත)


ළමා අපයෝජන සම්බන්ධව ක‍්‍රියා කරන ආයතන


       දිස්ත‍්‍රික් ළමා අයිතිවාසිකම් කමිටුව, මානව හිමිකම් කොමිසම, රාජ්‍ය නොවන සංවිධාන, පොලිස් ස්ථාන, පරිවාස කාර්යාල දිස්ත‍්‍රික්ක මට්ටම නියෝජනය කරමින් ළමා අපයෝජනයන් වැළැක්වීමට පියවර ගනී. මෙහිදී උපදෙස් සැපයීම, මඟපෙන්වීම, වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවීම හා ළමයින්ගේ උපරිම යහපත සඳහා උපරිම ක‍්‍රියාමාර්ග ගැනීම කරනු ලැබේ.

ජාතික ළමා රක්‍ෂණ අධිකාරිය, පරිවාස හා ළමාරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මානව හිමිකම් කොමිසම මේ යටතේ ගැනේ. මේ මගින් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ මෙහෙයුම් හා සුපරික්‍ෂාවන් ප‍්‍රතිපත්ති සංවර්ධනය හා උපදෙස් පිළිබඳ වගකීමද දරයි.



තොරතුරු වීමසීම සඳහා යොමුවන්න.
 
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය,
අංක 16,පාගොඩ පාර,
නුගේගොඩ.




ලිංගික අතවර


     ශ්‍රිලංකා ද.නී.ස 345 වගන්තියට අනුව ලිංගික අතවර කිරීමේ වරදට වසර පහක් දක්වාවූ සිරදඬුවම් නියම කිරිමටත් දඩ මුදලක් අය කිරිමටත් නීතියෙන් ක්‍රියා කිරිමේ හැකියාව පවති.වචනයකින්,ක්‍රියාවකින්,හෝ ඉඟියකින් වුවද ලිංගික ඉරියව් ඇඟවෙන අකාරයෙන් කටයුතු කිරිම ලිංගික අතවරයක් ලෙස සැලකේ.කාන්තාවකට හෝ ළමුනට අසභ්‍ය යෝජනාවන් කිරිම,ලිංගිකත්වය සම්බන්ධ වචන  කියමින් ලජ්ජාවට පත්කිරීම යනාදිය පවා ඉහත වගන්තියට ඇතුලත් වේ.පොදු ප්‍රවාහන සේවයේදි බොහෝ කතුනට මෙවනි ලිංගික අතවර සිදුවන බව නොරහසකි.එහිදි සිරුර ස්පර්ශ කිරීම,කාන්තාවගේ ශරිරයට හේත්තු වීම ලිංගික හිරිහැරයක්  ලෙස සලකනු ලැබේ.තම සේවා ස්ථානයේදි වුවද මෙවැන්නකට මුහුන පෑමට සිදුවිය හැක.


ස්ත්‍රිදූෂණය


     ලංකා දණ්ඩ නීති සංග්‍රහය 1995 අංක 22 හි 363 වන වගන්තියට අනුව පහත දක්වා ඇති අවස්ථා පහෙන් කවර අවස්ථාවක හෝ කාන්තාවක සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.


  1. වයස අවුරුදු 16 ට අඩු ගැහැනු ළමයකුගේ කැමත්ත ඇතිව හෝ නැතිව ඇය සමග ලිංගිකව එක්වීම ස්ත්‍රිදූෂණයකි.
  2. කාන්තාවකට මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර ලබා දී හෝ සහිවිකල් වූ පසු ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
  3. බලහත්කාරයෙන්,තර්ජනය කිරිමෙන්,නීති විරෝධි ලෙසින් රඳවාගනිමින් කාන්තාවක බිය ගන්වා ඇය කැමති කරවා ගනිමින් ලිංගිකව එක්වුවද එය ස්ත්‍රිදූෂණයකි.
  4. ස්වාම්පුරුෂයා බව ව්‍යාජව අඟවා ලිංගිකව හැසිරීම.
  5. නීතියෙන් වෙන්ව සිටින භාර්යාව සමග ඇයගේ කැමත්ත නොමැතිව ලිංගිකව එක්වීම.

ස්ත්‍රිදූෂණයක් සඳහා නියම කල හැකි දඬුවම් ද.නී.ස 364 වගන්තියේ දක්වා ඇත.එනම්

  • වසර  හතත් විස්සත් අතර කාලයක බරපතළ වැඩ සහිත සිරදඬුවම්
  • වන්දි මුදලක් නියම කිරීම

ලංකා දණ්ඩ නීති සංග්‍රහය 364 (2) වගන්තියට අනුව සුවිශේෂි අවස්ථා කිහිපයකදි ස්ත්‍රිදූෂණයකට සිරදඬුවම් සමග වන්දි මුදලක්ද නියම කල හැක.

  • රජයේ නිලධාරියකු තම නිල තත්වය භාවිතා කර ස්ත්‍රි දූෂණයක් සිදු කළ අවස්ථාවක
  • රක්ෂණ නිවාසයක හෝ අත්අඩංගුවේ සිටින ස්ත්‍රියක් දූෂණය කිරීම
  • රෝහල් ගත ස්ත්‍රියක් රෝහල් කාර්යමණ්ඩලය විසින් දූෂණය කිරීම
  • ගර්භණි ස්ත්‍රියක් දූෂණය කිරීම
  • වයස අවුරුදු 18 අඩු ස්ත්‍රියක් දූෂණය කිරීම
  • ශාරීරක ආබාධ,මානසික ආබාධ සහිත ස්ත්‍රියක් දූෂණය කිරීම
  • කණ්ඩායමක් විසින් ස්ත්‍රියක් දූෂණය කිරීම

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි