ඔන්න මේ වතාවෙත් පාසල් සමයේ සුන්දර මතකයන් කිහිපයක් ඔබත් එක්ක බෙදා හදාගන්නයි සූදානම් වෙන්නේ.පාසලෙන් සමුඅරගෙන දැනට වසර පහලොවක වගේ කාලයක් ගෙවිලා ගිහින් තිබුනත් ඒ රසවත් සිදුවීම් නම් අද ඊයේ වගේ මතකයට නැගෙනවා.ඔය මතක ගොනුවේ ඇති සමහර සිදුවීම් වලට අපේ පාසලේ විදුහල්පතිතුමාත් සම්බන්ධයි.වැඩිය අටුවා ටිකා ටිප්පනි නැතිව මේ කතා ටිකත් කියවලා බලලම රස විදිමුකෝ එහෙනම්.
නයා
****
සාමාන්‍යයෙන් පාසල් කාල සටහනේ පලවෙනි සතියේ සිකුරාදා දිනය වෙන්වෙලා තිබුනේ පාසල් සාහිත්‍ය සමීතිය පැවැත්වීම වෙනුවෙන්.සමීතිය දහවල් 1.00ට ආරම්භ කලාම අවසන් වෙන්නේ 1.45 විතර.එදත් සිකුරාදා දවසේ පාසලේ සාහිත්‍ය සමීතිය ආරම්භ වුනා.සිසුන් දෙදහසක පමන පිරිසකගෙන් ප්‍රධාන රැස්වීම් ශාලාව පිරිලා තිබුනා.සමීතිය ආරම්භ කරලා පැය බාගයක පමන කාලයක් ගතවෙලා ගියා.අපේ පංතිවල ලමයි වාඩිවෙලා හිටියේ පසුපසම තිබුන ආසන වල.සමීතිය ආරම්භවුන වෙලාවේ ඉදලම පිටිපස්සටම වෙලා සමීතිය දැන් ඉවරවෙයි,දැන් ඉවරවෙයි, කියන බලාපොරොත්තුවෙන් පුල පුලා මගබලාගෙන ඉන්න අපේ බුවලා තමන්ට ඉදිරියෙන් ඉන්න අනිත් පංතිවල සිසුන්ට මොකක් හරි අලකලංචියක් කරන්නත් අමතක කරේ නම් නැ.අලකලංචි කිරීම සම්බන්ධයෙන් නම් දරාපු කුකුලා කියන නම්බුනාමයෙන් හදුන්වපු අපේ එකෙක් මට එහා පැත්තේ ඉන්න අපේ නාමලයට කතා කරන්නේ ඔය අතරේ
මචං නාමල් උඹ අද අරන් ආවා නේද රබර් සර්පයෙක්..ඒකා දීපංකෝ ටිකකට......
මචෝ පිස්සු කෙලින්නම් එපා...උඹට ඕනනම් පස්සේ දෙන්නම් දැන්නම් බැ.....
එහෙම මගුලකට නෙවෙයි බං,දීපංකෝ ඒකාව.....
ම් ඉදා..හැබැයි ඉක්මනට දීපං......
නාමලයා අද ඉස්කෝලෙට අරගෙන ආව අඩියක් විතර දිග රබර් සර්පයා කුකුලට දුන්නේ පිස්සුවක් කෙලින්නේ නැතිවෙයි කියන විශ්වාසයෙන්මයි.හොදට වට පිට බලපු කුකුලගේ ඇස් දෙක ගියේ එහා පැත්තේ පුටු පෝලිම් වාඩිවෙලා හිටිය ඌ ඒ වෙනකොට ට්‍රයි කර කර හිටපු උගේ කෙල්ල දිහාවට.කුකුලගේ අතින් ගුවන් ගත වුන රබර් සර්පයා හරියටම ගිහින් ගොඩබැස්සේ උගේ කෙල්ලගේ උරහිසමත්තට.
...අම්මෝහ්....නයෙක්....
මුලු ශාලාවටම ඇහෙන්න කෙල්ල බෙරිහන් දෙද්දි ඒවෙනකොට වේදිකාවේ කවියක් කිය කිය හිටපු පොඩි පංතියක කොලු පැටියා බයවුන පාරට කවියත් නවත්වලා ගල්ගැහිලා වගේ බලගෙන ඉන්නවා.ගුරැවරැ දෙතුන් දෙනෙකුත් අපි ඉන්න පැත්තට ඉක්මනින් ආවේ මොකක්ද මේ කලබලේ කියලා බලන්න.ඒ අතරේ කුකුලගේ ප්‍රියම්බිකාවත් ඔලුව දෙපරන්ද අස්සේ හංගගෙන වැලහින්නක් වගේ අඩනවා.
"මොකද ළමයෝ උනේ...ඇයි කෑ ගැහුවේ.?" ඒ ප්රශ්නය ගුරැ මෑණිකෙනෙකුගෙන්
කෙල්ලෝ හැමෝම මීයට පිම්බා වගේ ඉන්නවා මිසක් උනේ මොකක්ද කියලා කියන්නේ නැ.බිම වැටිලා හිටපු රබර් සර්පයා දැක්ක විද්‍යාව උගන්වන අපේ ගුරුතුමියක් ඌව අතට අරගෙන එහෙට මෙහෙට හරව හරව බලනගමන් විද්‍යාත්මක පර්යේෂණයක් කරනවද කොහේද.කොහොමින් කොහොම හරි අන්තිමට රබර් සර්පයා ප්‍රධාන වේදිකාවටත් ඉන්පස්සේ විදුහල්පතිතුමන්ගේ අතටත් සම්ප්‍රාප්ත උනා.ඉන් පස්සේ විදුහල්පතිතුමා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් අපි අමතන්න පටන්ගත්තා.
....කවුද මේ වැඩේ කරපු ගොන් බූරැවෝ...ඔය පිටිපස්සේම පුටුවල ඉන්න ලොකු පංති වල එවුන් වරෙව් මෙහාට...අද මම තොපිව මකනවා..වරෙව් ඉක්මනට........
අපි පිරිස ඒකා පස්සේ ඒකා ඉතා ශාන්ත ගමනින් වටපිටවත් බලන්නේ නැතිව වේදිකාවට ගොඩවුනා.අපි දන්නවා තව සුලු මොහොතකින් අපේ විදුහල්පතිතුමා පාසලේ ලමුන් හැමෝම ඉදිරිපිට අපිට කිරැලු පලන්දලා අපිව අභිෂේක කරන්න හදන්නේ කියලා.මේ වගේ ගෞරවණීය අවස්ථාවක් අපිට උදාකරලා දුන්න කුකුලා ගැන අපි හැමෝගෙම හිත්වල ඇතිවෙලා තිබුනේ පුදුමාකාර ගෞරවයක්.
....මොකාද මේක කරේ ඇත්ත කියාපියව්...
ඒ අභිත සිංහනාදය විදුහල්පතිතුමාගෙන්........
කවුද මේ අතිඋදාර සත්ගුණවත් සූරවීර ක්‍රියාව කලේ කියලා හෙලිකරන්න අපි කවුරැවත්ම සූදානම් උනේ නැ.මොහොතකින් මේ මෙහෙයුමේ මහා මොළකරු තමන් කියලා පිලිගත්ත කුකුලා විදුහල්පතිතුමා දෙසත් වේදිකාවෙන් පහල ඉන්න සිසුන් දෙසත්බැලුවේ ලජ්ජාව මුසු උදාර බැල්මකින්.අපිව නිදහස්කල විදුහල්පතිතුමන් කුකුලගේ පිට මැද්දට හෙනගහනව වගේ පාරවල් දෙක තුනක්ම අතහරින්න අමතක කලේ නැ.වැඩේ ඉවරයි කියලා හිතුවට එතනින් ඉවර වුනෙත් නැ.සමීතිය අවසන් වෙනකමිම වේදිකාව උඩ දණගහගෙන රබර් සර්පයාවත් කටින් එල්ලගෙන ඉන්න අපේ කුකුලට සිද්දවුනා.
තදියම
***************************
මේක සිද්ද වුනේ පාසලේ ස්පොර්ට්මීට් පැවැත්වෙන දවස්වල.අනිත් දවස්වලට වඩා නිදහස වැඩිපුර ලැබෙන දවස් කිහිපයක් නිසා පුංචි නිදහසත් මොනවහරි අසමජ්ජාති වැඩකට යොදාගන්න අපේ උන් පසුබට උනේ නැ.මමයි අපේ තව දෙන්නෙකුයි පාසලේ විද්‍යාගාරයට ටිකක් එහායින් තිබුන පඩිපෙල දිගේ පහලට බැහැගෙන එනවා.ඔය අතරේ තියනවා අතහැරලා දාපු පාසලට අයිති පරන වැසිකිලියක්.
"ඒයි මේ තියෙන්නේ පොට් එක....වරෙන් වරෙන් ඉක්මනට යමු''.කියපු දිගා යන අනවර්ථ නාමයෙන් හදුන්වන අපේ එක් මිත්‍රයෙක් අපි දෙන්නවත් ඇදගෙන පරන වැසිකිලය පැත්තට ගියා..
...මොකද බං මේ උඹ එකවරම කුලප්පුවෙන් වගේ ?...
දිගා මේ තරමි හදිසියේ මොකක්ද කරන්න හදන්නේ කියලා හිතාගන්න බරිවුන මම උගෙන් එහෙම ඇහුවා........
ලොකු දෙයක් නෙවෙයි බං.සිගරට් එකක් තියනවා ඒක ගහන්න.මේක ටොයිලට් එක ඇතුලේ ගහපුවම කාටවත් පෙන්නේ නැනේ බං.........
මචෝ මමනම් ඔය වැඩේට එච්චර කැමති නැ...කමක් නැ උඹලා ගහනකම් මමත් ඉන්නම්.........
මාරැවෙන් මාරැවට සිගරට් එක ගහමු කියලා අජියත් එක්ක යෝජනා කරගත්ත දිගා සිගරට් එක පත්තුකරගෙන හෙමින් සීරැවේ වැසිකිලියට රිංගගෙන දොර වහගත්තා.විනාඩියක වගේ කාලයක් ගෙවිලා ගියා.විදුහල්පතිතුමත් අපි බැස්ස පඩිපෙල දිගේම බැහැගෙන අපි ලගටම ඇවිත් කියලා අපි දැනගත්තේ එතුමා අතේ තිබුන වේවැලෙන් අපේ පිටට තට්ටුවක් දානකොට.අපි දෙන්නට පැත්තකට වෙන්න කියලා සංඥා කරපු විදුහල්පතිතුමා වැසිකිලිය ලගට ගිහින් වැසිකිලි දොරට දොපාරක් තට්ටු කලා.ඒ එක්කම වැසිකිලිය ඇතුලේ ඉන්න දිගා මෙන්න මෙහෙම බෙරිහන් දෙන්න පටන්ගත්තා.
හිටපං බං හදිස්සි වෙන්නේ නැතිව..තව ටිකයිනේ ගැහැව්වේ...G අකුර ලගට ගහලා දෙන්නමි...............
ආයෙත් විදුහල්පතිතුමා දොරට තට්ටුවක් දැම්මා
හිටපන්කෝ හු....... හදිස්සි නැතිව..හරියට කවදාවත් ගහලා නැ වගේනේ බං..ආතල් එකේ ගහමු මචං හදිස්සි වෙන්නේ නැතිව..........
තුන්වැනි වතාවෙත් විදුහල්පතිතුමා වැසිකිලි දොරට තට්ටුවක් දැම්මා
ආ ඉදා ඉදා ගහපංකෝ.....ගහලා මට ආයෙත් දීපං හරිද...
එහෙම ලොකු සද්දයක් දාපු අපේ දිගා දොර ඇරගෙන එලියට ආවා සිගරට් එකත් ඉස්සරහට දික්කරගෙන.සිද්ධවෙන්න යන මහා ඛේදවාචකය තවදුරටත් බලාගෙන ඉන්න බැරි අජියයි මමයි අනිත් පැත්ත හැරිලා කට අතින් වහගෙන හිනාව තදකරගත්තා.ඒත් එක්කම අපි දෙන්නට මෙන්න මේ වගේ ශබිදයක් ඇහුනත් අපි ඒ පැත්ත හැරිලාවත් බැලුවේ නැ....
..චටාස්...පටාස් ...තග් ...තග් ..තග්..
-----------------------------------------------------------------------------------------------
ප/ලි
(විදුහල්පතිතුමා යන්න වෙනුවට පිනා යන වචනය යෙදුවේනමි කතාව තවත් සමීපව රසවත්ව දැනෙන්නට ඉඩ තිබින.එහෙත් අප නිසි මගට යොමුකල එතුමන්ට හා අපහට සිප්සතර ලබාදුන් දුන් අප ගුරුදෙමාපියන්හට අපහාස උපහාස වන අන්දමෙන් ලිපිය ලිවීමට සිත්නොදුන්න බැවින් එම වචන ගෞරවණිය ආකාරයෙන්ම යොදන්නට යෙදින.)