ලිංගික අපයෝජනයට ලක් වන දියණියන්ගේ ඉරණම

         වර්තමාන ලෝකයේ දියුණුවත් සමඟම මිනිසා දැනුමෙන් ද තාක්ෂණ අතින් ද ඉතාමත් ඉහළ මට්ටමක සිටී. නමුත් සමස්ත සමාජය දියුණු වූවද වර්තමානයේ මිනිසා කොතරම් ම්ලේච්ඡ විකෘති තත්ත්වයට පත්වී සිටීම කණගාටුදායකය.සමාජයේ සිටින ඇතැම් විකෘති කාමුකයන් නිසා රටේ අනාගතය බාර දෙන්නට සිටින සුන්දර මල් කැකුළුවන් වටිනා ජීවිත විනාශ කිරීම පිළිබඳ ලෝක ළමා දින සමරු ඔක්තෝම්බර් 01 වැනිදා විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.මල් කැකුළු වැනි දියණිවරුන් විකසිත වන්නට නොදී තලා පෙලා විනාශ නොකොට අමන සල්ලාලයින්ගෙන් ඔවුන් රැකගැනීමට පියවර යෙදීම අතිශයින් වැදගත්ය.හෙට දවසේ මව් පදවිය බාරගෙන රටේ ජීවනාලිය බඳු මිනිස් සංහතිය බිහි කිරීමට සැරසී සිටින ඔබේ දියණියන්ට නිසි ආරක්ෂාවක් සපයා දීම පිළිබඳව කටයුතු කිරීමට ලෝක ළමා දින උත්සව සමරමින් පී‍්‍රති වනවාට වඩා යහපත් ඵලදායි කටයුත්තකි.

ඕනෑම දරුවෙකුගේ ආරක්ෂිත ස්ථානය වන්නේ තම මව්පිය රැකවරණය - ආදර සෙනෙහස නොඅඩුව ලබන තම නිවස සහ ශිල්ප සතර හදාරණ තමාගේ පාසලයි.එහෙත් හෙට දිනයේ මේ මල් කැකුළු විකසිත වීමට පෙර ම්ලේච්ඡ සල්ලාලයින්ගේ ගොදුරක් බවට පත්වී අනාගතය සහමුලින්ම අඳුරු වන්නට ඉඩදී කෙළෙස බලා සිටිමුද? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කීවා සේ තාත්තා, බාප්පා, සීයා ,මාමා, සහෝදරයා, විදුහල්පති, ගුරුවරයා සහ ළඟම ඥාතීන් අතින් තම දියණිය කෙලෙසී ලිංගික අපයෝජනයට ලක්වන්නේ නම් තවත් කුමන කතාද? මේ මල් වැනි සිඟිති දියණියන්ගේ අනාගතයේ ඉරණම කෙලෙස විසදේවිද?පියාට දියණිය බාර කොට ඉසුරු සොයා මැදපෙරදිග ගිය අම්මා නිවසට එනවිට වසර 12 වයැසැති දියණිය තම පියා අතින් දූෂණය වී ගැබ්ගෙනත් අවසානය.

“ඥාති සොහොයුරා අට වසරක් වයසැති දියණිය කෙළෙසයි”

“බාප්පා 11 වැනි වියේ පසුවන දියණියට ලිංගික අපචාර කරයි.”

පාසල් ගුරුවරයා 4 වැනි ශ්‍රේණි ඉගෙන ගන්නා ශිෂ්‍යාවට ලිංගික අපචාර කරයි. විදුහල්පතිතුමා යෞවනියන් ගණිකා වෘත්තිය යොදවයි. ඒපසුගිය කාලසීමාව පුරා ජාතික පුවත්පත්වල ශිර්ෂ පාඨ මෙන්ම රූපවාහිනි නාළිකාවල අප ඇසූ දුටු දේය. අද දියණියන් විනාශ කරන්නේ තමාගේ ළඟම ඥාතීන් විසින් සහ පාසල් ගුරුවරුන් විසින් වීම ශෝචනීය තත්ත්වයකි.

මෙලෙස දූෂණයට ලක්වන දියණියන් ගැබ් ගන්නේ සල්ලාලයින්ගෙන් සමාජ රෝගද වැළඳගෙනය. තම දරුවා උගතෙකු කරවීමේ අභිලාෂය පෙර දැරිව සිප්සතර කරවන්නට සියලු සේසත විය පැහැදම් කොට පාසලට යවද්දී විදුහල්පති හෝ වෙනත් ගුරුවරයෙකුගෙන් දරුවා ලිංගික අපචාරයට ලක්වන්නේ නම් එය කොතරම් පහත් නින්දිත ක්‍රියාවක්ද?ගුරු ගෞරවයත් ගුරුවරයාට දක්වන පක්ෂපිතීත්වයත් නිසා කිසිවෙකුට මෙය හෙළි නොකරන මෙම දියණියන් කාමතුරයන්ගේ ගොදුරු බවට පත්වීමේ අතුරුඵලය වන්නේ දරුවා අඩු වයසින් ගැබ් ගැනීමය.ඔවුන් මානසිකව බිඳවැටීමට ලක් වී කායික ද ගැටළු රාශියක් ඇතිව පියෙක් නොමැති දරුවන් කරේ එල්ලාගෙන හිඟමනේ යාමත් අභිසරුලියන් ලෙස ලෝකයේ පැරණිතම වෘත්තියේ යෙදීමට යොමු වීමත් කාට වැළැක්විය හැකිද?

ජීවිතයේ ලද මේ කලු පැල්ලම කිසිවිටකවත් සෝදා පවිත්‍ර කළ නොහැක. වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් විසින් කුඩා දියණියන් ලිංගික අයෝජනයට ලක් කිරිමේදී එයින් සිදුවන තවත් අතුරුඵලය වන්නේ ඉහළ ශ්‍රේණිවල සිසුන් පවා එවැනි දේට යොමු වීමයි.“අපේ පි‍්‍රන්සිපල්ට, සර්ට හොඳ නම් අපට විතරක් නරක ඇයි ද?” මේ ඔවුන්ගේ ආකල්පයයි. 


පොලිස් වාර්තා අනුව මේ වසර තුළ හා ස්ත්‍රී දූෂණ 83% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.මේ දරුවන්ට ලිංගික අපරාධ කරන්නන්ගෙන් ඇතැමුන් නීතියේ රැහැනට ඇස් වසා පැන යයි.නැතිනම් ශරීර ඇපයක් මත ඔවුන් නිදැල්ලේ හැසිරෙයි.කාලයත් සමග සිද්ධියේ උණුසුම මැකී ගොස් ඇත.දරුවන්ට කාමුක අපරාධ කරනන් විනාශ කරන්නේ හෙට දිනයේ රට බාරගැනීමට සිටින ඉදිරි පරම්පරාවයි. එබැවින් බරපතළ දැඩි දඬුවම් ඔවුන්ට ලබා දෙන්නේ නම් ලිංගික අපචාර සඳහා යොමු වීම ක්‍රමයෙන් මැඩ පවත්වා ගත හැක. 

ලිංගික අපයෝජනයට ලක් වන දැරියකට මුහුණ දීමට සිදුවන මානසික ගැටලු

ලිංගික අපයෝජනයට ලක් වන දැරියකට මුහුණ දීමට සිදුවන මානසික ගැටලු පිළිබඳ අප විමසා බැලුවේ උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ මානසික රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය හා උතුරු කොළඹ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලීනිකා විජේරත්න මහත්මියගෙනි.මෙම දැරිවියන්ට ඇතිවන මානසික ව්‍යාකූලතා දෙආකාරයෙන් යුක්තයි. කෙටිකාලීන හා දිගුකාලීන ලෙස ඒවා හැඳින්විය හැකිය. එම සිදුවීම නිසා සිතට දැනෙන භීතිය හා චකිතය නිසා මෙම දරුවන් මානසික අවපීඩනයකට තත්ත්වයට ලක් විය හැකියි.මෙම කටුක අත්දැකීම විඳ දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙන අතර එම වේදනාකාරී අත්දැකීම නිසා තමාට විඳින්නට සිදු වූ කායික වේදනාව මෙන්ම තමාගේ ලිංගික ජීවිතය පිළිබඳව විශාල භීතියකින් පෙළීමට ඉඩ ඇත.ඒ නිසා එදිනෙදා වැඩකටයුතු සහ මුලින්ම අඩපණ වී යයි. අධ්‍යාපනය කඩා කප්පල් වේ. ක්‍රීඩාවට දක්ෂතා දැරූ දරුවෙකු නම් එයට විරාමයක් තැබීමට සිදු වේ. ජීවිතයේ බලාපොරොත්තු ඉලක්කයන් කරා යාමට නොහැකිව බලාපොරොත්තු සියල්ල සුන් වී සමස්ත පිරිමි සංහතිය කෙරෙහිම කෝපයත්, පිළිකුලත්, විශ්වාස භංගත්තවයත්, අනාරක්ෂිත බවත් ඇතිවීමට ඉඩ ඇත. දරුණු මානසික අවපීඩනයකට ලක් වීමට ඉඩ තිබෙන නිසා ඇතැම් විට සියදිවි හානි කර ගැනීමට පවා පෙළඹීමක් සිදුවිය හැකිය.

පිරිමින් කෙරෙහි ඇති දැඩි පිළිකුල හා විශ්වාසය නොමැතිකම නිසා විවාහ වීම පවා ප්‍රතික්ෂේප කරන අවස්ථාවට ද මොවුන් පෙළඹේ.යම් හෙයකින් විවාහ වුවද එම කටුක සිද්ධිය ආවර්ජනය වී ලිංගික ජිවිතයට මුහුණ දීමට නොහැකිව චිත්ත සන්තාපයට පත් වී විවාහය පවා දෙකට වීමට ඉඩ ඇත.මෙම දරුවා තුළ තම මවගෙන් නොලද රැකවරණය නිසාම අනාරක්ෂිත බව ජීවිතය පුරාම පෙන්නුම් කරයි. සමාජයට මුහුණ දීමට තිබෙන ලැජ්ජාවත් සමාජය විසින් ඇයව වැරදි ලෙස හංවඩු ගැසේවි යන චකිතයත් නිසා ඇගේ පෞරුෂත්වය මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ ඇත.ඇතැම් විට විශාද තත්ත්වය උග්‍රවිය හැකි අතර වෙනත් ආකාරයේ මානසික රෝග වලටද පවා ගොදුරු වීමට ඉඩ ඇත.



ලිංගික ආයෝජනයට දරුවෙකු ගොදුරු වූ විට කායිකව මුහුණ දෙන ගැටලු

 

ආදරණීය අම්මාවරුනි තම දියණිය සල්ලාල කාමාතුරයන්ගෙන් රැකගන්න. ඇයට ඔබගේ ආරක්ෂාව නොඅඩුව ලබාදෙන්න. ඔබේ දියණිය අනාථ වන්නේ ඔබේ නොසැලකිල්ල නිසා බව සිහිතබා ගන්න.වැඩිවියට පත්වීමත් සමඟම ගැහැණු දරුවෙකුගේ ප්‍රජනන පද්ධතිය ඇතුළු ලිංගේන්ද්‍රියන් වයස අවුරුදු 18 තෙක් වර්ධනය වේ. ඇය මවක් වීම සඳහා කායික ලෙස සම්පූර්ණත්වයට පත්වන්නේ ඊට පසුවය.මල්වර වීමෙන් පසු ගැබ් ගැනීමක් සිදුවිය හැකි නමුත් අවුරුදු 18 පෙර මවක් වීමට සුදුසු තත්ත්වයකට ඇගේ සිරුරේ ඉන්ද්‍රියන් වර්ධනය වී නැත. එබැවින් බාලවයස්කාර දැරිය ගර්භණී අවස්ථාවකට පත් වූවහොත් ඇයට කායික වශයෙන් සංකූලතා රැසකට මුහුණ දීමට සිදු වේ.දැරියක දූෂණයට ලක් කිරීමේදී හෝ ඇයව ලිංගික අපයෝජනයට ලක් කිරීමේදී කායික ආබාධ ලෙස මුත්‍රා පද්ධතිය ආශි‍්‍රත මුත්‍රා ආබාධ, ලිංගික සම්පේ‍්‍රක්ෂණ රෝග ( සමාජ රෝග), රුධිර වහනය, තුවාල වීම් මෙන්ම පුද්ගලයන් ගණනාවක් විසින් හෝ එක් පුද්ගලයෙක් විසින් ශිෂ්ණය තදබල ලෙස තද කිරීමට ලක් කිරීමේදී යෝනි මාර්ගය ඉරීමට ලක්වන අතර යෝනි මාර්ගය තුවාල වී රුධිර වහනය සිදු වේ.ඒ සමඟම බාහිර ලිංගේන්ද්‍රිය තුවාල වී අතිශයෙන් වේදනාකාරී තත්ත්වයකට දරුවා පත් වේ. දරුවාට මේ අවස්ථාවේදී දැඩි කම්පනයක් හා බියක් ඇති වේ. බරපතල කරුණ වන්නේ රුධිර වහනය වීමයි. ස්වභාවයෙන්ම ශරීරයේ ලේ කැටි ගැසීම දුර්වල අයගේ තත්ත්වය භයානක වේ.

ඇතැමුන් බාල වයස්කාර දියණියන් තම උකුලේ හිඳවාගෙන මේ ලිංගික අපචාර සිදු කරන අතර හිරිමල් වියේ පසුවන මෙවැනි දරුවන් මේ ක්‍රියාවට නැඹුරු කිරීම තුළින් යම්කිසි කායික තෘප්තියක් දරුවාට ද ලැබෙන්නේ ඇයද නොදැනුවත්වමය.මේ තත්ත්වයට නිතර නැඹුරු වීම නිසා ලිංගේන්ද්‍රය ඇදී ඉතාමත් පහසුවෙන් පිරිමියා විසින් මුදා හරින ශුක්‍රාණු යෝනි මාර්ගයට ගමන් කළ හැක. දරුවා මේ තත්ත්වයට නැඹුරු වීම නිසා මේ ක්‍රියාවලිය සිදුකළ වැඩිහිටියා වෙත දෙමාපියන්ට හොරා යාමට පවා ඔවුන් පෙළෙඕ. දෙමාපියන්ට මෙය හෙළි වන්නේ දරුවා ගැබ් ගත් පසුවයි.


රජයේ නීතිය අනුව මෙන්ම ජීව විද්‍යාත්මක ඇසින් බලන කළ මවක් වීමට බාල වයස්කාරියක් කොහෙත්ම නුසුදුසු බැවින් මාතෘ මරණ පවා සිදුවිය හැක. ස්වභාවික දරු උපතකදී මවගේ ශ්‍රෝණි මේඛලාව හොඳින් වැඩී තිබිය යුතුය. එවිට දරුවාගේ හිස කොටස ගර්භාෂයෙන් පිටතට ඒම හරියාකාරව සිදු වේ.නමුත් බාලවයස්කාරියගේ ශ්‍රෝණි මේඛලාව සම්පූර්ණයෙන්ම වැඩී නොමැති නිසා ස්වභාවික දරු උපතක් සිදු වීමේදී දරුවාගේ හිස හිරවීමට ලක් වන අතර මවට අභ්‍යන්තර රුධිර ගැලීමක් සිදු වීම නිසා මව හා දරුවා මරණයට පත්විය හැක. ඒ හේතුව නිසාම රජයේ රෝහලක මෙවැනි දරු ප්‍රසූතියන් සිදු කරනුයේ සීසර් සැත්කමකිනි.අපේ මුතුන් මිත්තන්ගේ යුගයේ බාලවයස්කාර දැරියන් විවාහ කර දීම නිසා මාතෘ මරණ සංඛ්‍යාව වැඩි වූ අතර බාලවයස් විවාහ නීතියෙන් තහනමට ලක් වූයේ එහෙයිනි.


අද අභිසරුලියන් පිළිබඳ සමීක්ෂණයක් කළහොත් ඔවුන් බොහෝදෙනා කාගෙන් හෝ අනාථ වූ අය බව සක් සුදක් සේ පැහැදිළිය. ආදරණීය අම්මාවරුනි, ඔබේ පවුල ආර්ථික අතින් සවිමත් කර ගන්නට ඉසුරු සොයා දේශ දීපන්කරේ ගොස් ඔබ නැවත පැමිනෙන විට තම දියණිය සල්ලාල කාමාතුරයන්යන්ට ගොදුරු වී අවසානය.ඔබේ දියණිය අනාථ වන්නේ ඔබේ නොසැලකිල්ල නිසා බව සිහිතබා ගන්න. අද අප සිටින්නේ පියවරුන් පිළිබඳ විශ්වාසයක් නොමැති යුගයකි. එබැවින් ඔබේ දියණිය දෑස මෙන් රැකබලාගෙන ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඇයව රටේ යහපත් උගත් පුරවැසියෙකු බවට පත්කරන්න. එසේ නොවුනහොත් විනාශ වූ ඔබේ දියණිය වෙනුවෙන් ඔබට ජීවිත කාලය පුරාම කදුළු සලන්නට සිදුවනු ඇත.



( ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතාගේ
දිනමිණ පුවත්පතෙහි පලවූ ලිපියක් ඇසුරිනි)

6 comments:

  1. වටිනා ලිපියක්... මේවා ගැන විවෘත ව කතා කරන්න අවශ්‍යයි.. මේක වැදගත් වේදිකාවක් ....

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම පිලිබද ස්තුතිවන්ත වෙනවා.දැනට මෙ ලිපි පලකරන්න අරගෙන කෙටි කාලයයි.නමුත් එම කෙටි කාලය තුල විශාල පිරිසක් මෙම ලිපි පෙල කියවලා තිබෙනවා.මම ආරමිභයේදීම හිතුව දෙයක් තමයි ලිපි කියවන පිරිස අඩු වුනොත් ලිපි පෙල නවත්තනවා කියන එක.නමුත් අලුත් ලිපියක් පලකල විගසම විශාල පිරිසක් එම ලිපි කියවනවා.ඒ නිසා මෙම ලිපි පෙල ඉදිරයටම ලියන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. මනෝ ඔයාගේ බ්ලොග් එකට අද ආවේ.. ෆලොවර් ගැජට් එකක් තිබ්බනම් හොඳයි,, ඒ වගේම අකුරු පැහැදිළිව වෙනම තිබ්බනම් තවත් හොඳයි,, අපේ සමහර බ්ලොග් කියවන්නෝ,,මමද ඇතුළුව කියවන්න ආස වුනත් අකුරු අපැහැද්ලි වෙද්දී කියවන්න කම්මැලි වෙනවා,, ඒ ගැන හිතන්න ටිකක්,,,, ජය ඉතුරු ඒවත් කියවන්නම්

    ReplyDelete
  3. සාදරයෙන් පිලිගන්නවා ඔබාමා.බිලොග් එක බලන අයගේ අදහස් ගොඩක් වටිනවා.මොකද බිලොග් එක ලියවෙන්නේ ඒ අය වෙනුවෙන් නිසා.දැනටත් ගොඩක් වෙනස්කමි කලේ කියවන අයගේ අදහස් අනුව.ඔබෙ අදහසට ස්තුතිවන්ත වෙනවා

    ReplyDelete
  4. මනුෂ්‍යයා ශිෂ්ටත්වයට පත් කිරීම පිණිස කළ හැක්කේ මොනවාදැයි තදින් සිතා බැලීමට යොමු කරන වැදගත් ලිපියක්. ස්තුතියි

    ReplyDelete

ඔබගේ ඕනම අදහසක් පලකිරීමට මෙහි ඉඩ ඇත.මෙහි පලවන ලිපිවලට ඉඳුරාම විරුද්ධ අදහසක් ඔබ දරන්නේද වුවද ඔබගේ එවැනි අදහස්ද වටනේය.පෞද්ගලික අපහාස ඇතුලත් අදහස් පමනක් ඉවත් කරනු ලැබේ.

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි